27 April 2024
#දේශීය

මෛත්‍රි ජනාධිපතිවරණයෙන් දිනුවොත් 2020 තමයි නව ධුරය පටන් ගන්නේ

කවුරු මොන සැළසුම් සකස් කළත් කවර ආකාරයෙන් අර්ථකථන කළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙම වසරේ සැප්තැම්බර් 02 දාට පසු දෙසැම්බර් 08 වැනිදාට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතු යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගිය ජූලි මස අධික සුළං තත්ත්වයක් හේතුවෙන් විපතට පත්වූ පවුල් සඳහා ආධාර මුදල් ලබාදීමේ උත්සවයකට එක්වෙමිනි.

එහි දී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ”රටේ මැතිවරණ පවත්වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති කාලසීමාව අනුව. ඒ අනුව 2019 සැප්තැම්බර් මස 02 දාට පසු එළැඹෙන කවර දිනයක වුවත් ජනාධිපතිවරණයක් කැඳවිය හැකියි. ඒ ජනාධිපතිවරණය දෙසැම්බර් 08 වැනිදාට පෙර පැවැත්වීමටත් සිදුවනවා. යම් විදියකින් දැනට ඉන්නා ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතා ම ජයග්‍රහණය කළොත් පමණක් ජනවාරි 08 වැනිදාට පසු නැවත එතුමාට ජනාධිපති ලෙස දිවුරුම් දීමට පුළුවන්. වෙනත් අයෙක් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළොත් ජනාධිපතිවරණය අවසන් වූ වහාම ජනාධිපති ධූරයේ දිවුරුම් දිය යුතුයි. මේ කරුණු පැහැදිලිව ව්‍යවස්ථාපිත කර තිබෙනවා. මොන විදියට අර්ථ කථනය කළත් නීතියට අනුව ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවෙනවා.”

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *