2026 වසරේ හජ් වන්දනා සමය නිල වශයෙන් ආරම්භ කරමින් 325 දෙනෙකුගෙන් සමන්විත ප්‍රථම වන්දනා නඩය අද (01) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සෞදි අරාබියේ ජෙඩා නුවර බලා පිටත්ව ගියේය. සෞදියා ගුවන් සේවයට අයත් එස්.වී.- 839 දරන විශේෂ ගුවන් යානය මගින් මෙම පිරිස රාත්‍රී 09.05ට සිය වන්දනා ගමන ආරම්භ කළහ.
මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා, ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමූද් අල් කහ්තානි මහතා සහ ශ්‍රී ලංකා හජ් කමිටුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවෙන් වන්දනාකරුවන් 3,500 දෙනෙකු තෝරාගෙන ඇති අතර, ඉදිරි දිනවලදී සෞදියා ගුවන් සේවයට අමතරව කටාර් ගුවන් සේවය මගින් ද සෙසු වන්දනාකරුවන් මක්කම බලා රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර තිබේ.














