ජාතික හා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ වත්මන් ඉල්ලුමට සරිලන පරිදි මෙරට කාර්මික සහ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පරිවර්තනය කිරීම අරමුණු කරගත් 2026-2035 උපායමාර්ගික රාමුව සහ ‘නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන’ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. වර්තමානයේ පවතින පුහුණු වැඩසටහන් සහ සැබෑ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතා අතර පවතින බරපතළ නොගැළපීම හේතුවෙන් ජාතික ආර්ථිකයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුමැතිය ලැබී ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය මත සකස් කර ඇති මෙම පුළුල් රාමුව හරහා මෙරට වෘත්තීය අධ්‍යාපන පද්ධතියේ දිගුකාලීන ව්‍යුහාත්මක සංවර්ධනයකට මඟපෑදෙනු ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ උසස් පෙළ වෘත්තීය අධ්‍යාපන විෂය ධාරාව ශක්තිමත් කිරීම, පාලන ව්‍යුහය විධිමත් කිරීම, පුහුණු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඩිජිටල් පරිවර්තනය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මීට අමතරව, කර්මාන්ත ක්ෂේත්‍රයේ සක්‍රීය සහභාගිත්වය තහවුරු කරමින් සහ පුහුණු වැඩසටහන් සඳහා තිරසර මූල්‍යකරණ යාන්ත්‍රණ හඳුන්වා දෙමින් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෝගය ලබා ගැනීමට නියමිතය. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික නිපුණතාවලින් පරිපූර්ණ ශ්‍රම බලකායක් බිහි කිරීම හරහා රට තුළ තරුණ රැකියා නියුක්තිය ඉහළ නැංවීමට මෙන්ම ආර්ථික වර්ධනය වේගවත් කිරීමට මෙමඟින් ප්‍රබල පිටුබලයක් ලැබෙනු ඇත.
අනුමත කර ඇති උපායමාර්ගික මාර්ගෝපදේශයට අනුකූලව ‘නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන’ 2027 සිට 2031 දක්වා කාලසීමාව තුළ අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙමඟින් මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නව ප්‍රමිතීන්ට අනුව හැඩගැස්වෙනු ඇති අතර, ගෝලීය වශයෙන් තරගකාරී ශ්‍රමිකයන් බිහි කිරීමේ ජාතික ඉලක්කය සැබෑ කර ගැනීමට හැකි වනු ඇත. රාජ්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය ප්‍රධාන උපායමාර්ගික කුලුනක් ලෙස ස්ථාපිත වීම, මෙරට අනාගත ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට අතිශයින් තීරණාත්මක බලපෑමක් එල්ල කරනු නිසැීය.















