ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා පැවැත්වීමට නියමිත 2026 III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා අයදුම්පත් කැඳවා තිබේ. 2026 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා අගෝස්තු 25 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා මාර්ගගතව (Online) අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා විභාගය සඳහා අයදුම් කළ හැකි අතර, අදාළ ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 21 වැනිදා නිකුත් කර ඇත. ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ ගුරු සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියට උසස්වී වසර හතරක් සම්පූර්ණ වීමට පෙර III කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.
එමෙන්ම, 2-I ශ්‍රේණියට උසස්වී වසර හතරක් ඉක්මවා තිබුණද, 2025 ජුනි 30 වැනිදායින් පසු I ශ්‍රේණියට උසස්වීම් හිමිවන ගුරුවරුන් ද අදාළ උසස්වීම සඳහා අවශ්‍ය III කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුය. විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලවල විෂය නිර්දේශය අධ්‍යාපන අමාත්‍යාංශයේ e-Thaksalawa නිල වෙබ් අඩවියට එක් කර ඇති බැවින්, අදාළ විෂය කරුණු අධ්‍යයනය කර විභාගයට සූදානම් වන ලෙස අපේක්ෂකයන්ට දැනුම් දී ඇත.














