රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ භික්ෂූන් වහන්සේලා 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ඊයේ (25) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේදී, සැකකාර හිමිවරුන් රැගෙන ආ ගමන් මලු තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ කිලෝග්‍රෑම් 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත. පාසල් උපකරණ සහ රසකැවිලි සමඟ ව්‍යාජ පතුල් සකස් කළ ගමන් මලු තුළ එක් හිමි නමක සන්තකයේ කිලෝග්‍රෑම් 5කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබී ඇති බව වාර්තා වේ. මෙය කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම මෙන්ම, භික්ෂූන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වූ පළමු අවස්ථාව ද වේ.
අනාවරණය වී ඇති තොරතුරු අනුව, මෙම පිරිස අනුග්‍රහකයෙකුගේ ආධාරයෙන් පසුගිය 22 වනදා තායිලන්තය බලා ගොස් ඇති අතර, එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථනවල තිබී පොලිසිය සොයාගෙන ඇත. අත්අඩංගුවට පත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපනය හදාරන තරුණ භික්ෂූන් වහන්සේලා බව සඳහන් වේ. සැකකාර හිමිවරුන් වැඩිදුර විමර්ශන සඳහා අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














