27 April 2024
#දේශීය

යාපනය, වලිකාමම් පාසල් සංවර්ධනයට රු. මිලියන 24 ක් යොදවයි

නැණ ගුණ පිරි මානවවාදි සිසු පරපුරක් බිහි කිරීමේ අරමුණින් හා දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමවේදය වඩාත් පහසු කරලීම අරමුණු කොටගෙන දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සදහා යාපනය දිස්ත්‍රික්කයේ වලිකාමම් අධ්‍යාපන කලාපය තුළ රුපියල් මිලියන 24 ක පාසල් සංවර්ධන කටයුතු ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිම, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින් අද(13) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව යාපනය සංඝරන්තෙයි සින්නම්මා විද්‍යාලයට රුපියල් මිලියන 10.7 ක නව පාසල් ගොඩනැගිල්ලක් සදහා මුල්ගල තැබීම, යාපනය වඩ්ඩු මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් මිලියන 11.5 ක නව පාසල් ගොඩනැගිල්ලක් සදහා මුල්ගල තැබීම, වලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් සදහා රුපියල් මිලියන 02 ක සුහුරු පංති කාමර (Smart Class Rooms) සිසු අයිතියට පත් කිරීම ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරිම, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නවීන තාක්ෂණික පහසුකම් පාසල් තුළට එකතු කිරීම තුළින් ජාත්‍යන්තරය ජයගත හැකි සිසු පරපුරක් බිහි කිරීම අපගේ වගකීම බවත් හොදම දේ දරුවන්ට ලබා දී අනාගත පරපුර නැණ ගුණ පිරි මානවවාදි සිසු පරපුරක් බවට පත් කිරීම කිරීමට කටයතු කළ යුතු බව අමාත්‍යාංශ ලේකම් වී.සිවඥානසෝති මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට යාපනය අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්.මුරලිතරන්, චංකානෙයි ප්‍රාදේශීය ලේකම් පී.ප්‍රමිනි, වලිකාමම් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක මදී අලහන් යන මහත්ම මහත්මීන්, පාසල්වල විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *