27 April 2024
#දේශීය #පුවත්

සිමෙන්ති සංස්ථාවේ අක්කර 5000ක ඉඩමෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 300ක් – රාජ්‍ය අමාත්‍ය චාමර

සිමෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බවත් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද මේ වන විට තෝරාගෙන ඇති බවත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

කුමන ප්‍රශ්න පැමිණිය ද රටේ පවතින සම්පත්වලින් හැකි තරම් ප්‍රයෝජන ලබා ගෙන රට ගොඩ නැඟීමට කටයුතු කළ යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා “රට විශාල ආර්ථික අර්බුදයකට ලක්ව තිබූ අවස්ථාවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාරගත්තා. දැන් ඔහු එම වගකීම සාර්ථකව ඉටු කරමින් සිටිනවා. ඒ වගේම එවකට මට බාර දුන් අමාත්‍යාංශය සතු ආයතන ද දැඩි කඩා වැටීමකට ලක්ව තිබුණා. එම ආයතන අතර ලාබ ලබන තත්ත්වයක පැවතුණේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පමණයි. එය ඒ වන විට වසරකට ඩොලර් මිලියන 280ක පමණ අදායමක් උපයනු ලැබුවා. නමුත් පසුගිය වසර අවසන් වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් ඩොලර් මිලියන 480ක පමණ මුදලක් උපයා ගැනීමට අප සමත්ව තිබෙනවා. වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ද අප නැවත ආරම්භ කළා. එම ආයතනය තවමත් ලාබ ලබන තත්ත්වයට පත්ව නොමැති නමුත් තිබෙන ණය ගෙවීමට හා සේවක වැටුප් ද ගෙවමින් පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම පොස්පේට් ආයතනයේ මිලියන 24ක් පමණ වටිනා ඛනිජ සම්පත් තිබෙනවා. නමුත් රාජ්‍ය නොවන සංවිධාන විසින් ගොනු කර තිබෙන නඩු කටයුතු හේතුවෙන් එයින් ආදායම් උපයාගත නොහැකිව තිබෙනවා. එවැනි ප්‍රශ්න හමුවේ වුවත් යම් පොස්පේට් ප්‍රමාණයක් අලෙවි කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ හරහා සියලුම ණය මෙන්ම වැටුප් ගෙවීම් සිදුකර මහා භාණ්ඩාගාරයට ද රුපියල් මිලියන 350ක් ලබා දීමට හැකියාව ලැබුණා. මෙවැනි ආයතන වගේම අලිමංකඩ, මන්නාරම ලුණු ලේවායන්වලින් ද ලාබ ලබා රුපියල් මිලියන 100ක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට අප කටයුතු කළා. අප රටේ පවතින සම්පත්වලින් ඕනෑ තරම් ප්‍රයෝජන ලබා ගත හැකියි. නමුත් ඒ සදහා ක්‍රියාත්මක වීමේදී විවිධ බාධා ගැටළු මතු වෙනවා. සිමෙන්ති සංස්ථාව දැනට නමට පමණක් සීමා වී තිබෙනවා. එහි අක්කර 5000ක පමණ ඉඩමක් තිබෙනවා. ඒ වාගේම ඩොලර් මිලියන ගණනක ඛනිජ සම්පත් ද එහි තිබෙනවා. අප එය අදායම් උපයන මාර්ගයක් බවට පත් කර ගැනීමට සැළසුම් කර අවසන්. ඒ අනුව වසරකට ඩොලර් මිලියන 300ක පමණ අදායමක් උපයා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද තෝරා ගෙන අවසන්. ඒ වගේම ඇල්ල නගරය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යමින් තිබෙනවා. ඇල්ල නගරයේ පමණක් දෛනිකව සංචාරකයන් 3000ක් සිටිනවා නම් රට පුරා කොපමණ සංචාරකයන් සිටිය හැකි ද කියා තක්සේරු කළ හැකියි. මේ සියලු අවස්ථා රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගත යුතුයි” යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *