ජාතික කලා භවනේ තැන්පත් කර තිබූ මිල කළ නොහැකි පෞරාණික චිත්‍ර සහ ප්‍රකට ’43 කණ්ඩායමේ’ (43 Group) නිර්මාණ ඇතුළු සිතුවම් 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකුගෙන් මේ වන විට පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසිනි. විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව, මෙම සිතුවම් අස්ථානගත වී ඇත්තේ ජාතික කලා භවනේ නිලධාරීන්ගේ අතිශය වගකීම් විරහිත සහ විනිවිදභාවයකින් තොර ක්‍රියාකලාපයක් හේතුවෙනි.
හඳුනාගැනීමේ ගැටලුව: අස්ථානගත වූ චිත්‍රවල නිසි සේයාරූ හෝ දත්ත ලේඛන පවත්වාගෙන ගොස් නොමැති වීම හේතුවෙන් ඒවා වෙන් වෙන්ව හඳුනාගැනීමට නොහැකි වී තිබේ. 2008 වසරේ මුද්‍රණය කළ ඇල්බමයක් අනුව චිත්‍ර 14ක් පමණක් හඳුනාගත හැකි වුවද, සෙසු 28 හඳුනාගැනීම අභියෝගයක් වී ඇත.
ලේඛන අතුරුදන්වීම: 1987 වසරේ කලා භවනේ තොග භාණ්ඩ ලේඛනය (Stock Book) මේ වන විට අස්ථානගත වී ඇත.
අක්‍රමවත් ගනුදෙනු: 1999 වසරේදී අබලි චිත්‍ර (Scrap) ලෙස පවසමින් චිත්‍ර 63ක් රුපියල් 1500 වැනි සුළු මුදලකට අලෙවි කර ඇති අතර, ඒ පිළිබඳව නිසි බලධාරීන් සතුව කිසිදු ලේඛනයක් නොමැත.
ප්‍රදර්ශනවලින් නොපැමිණීම: විදේශීය චිත්‍ර ප්‍රදර්ශන සඳහා රැගෙන ගිය ඇතැම් සිතුවම් යළිත් කලා භවන වෙත භාරදී නොමැති බවද හෙළිවී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2023 වසරේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී තිබුණද, 2025 වසර වන තුරුම මේ සම්බන්ධයෙන් කිසිදු සාර්ථක විමර්ශනයක් සිදුව නොමැත. අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ වන විට අතිරේක කමිටුවක් පත් කර පරීක්ෂණ සිදු කෙරේ.
අස්ථානගත වූ නිර්මාණ අතර විශිෂ්ට කලාකරු ලයනල් වෙන්ඩ්ට් මහතාගේ සිතුවම් සහ ඩඩ්ලි සේනානායක මහතාගේ රුව සහිත සිතුවම් ද වන බව වාර්තා වේ. අස්ථානගත වූ චිත්‍ර සොරකම් කර තිබේද, විනාශ වී තිබේද යන්න තහවුරු කරගැනීමට පොලිසිය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.














