27 April 2024
#දේශීය

මහරගම ව්‍යාපෘති 45ක් අතපසු කරලා – මහරගම සංවර්ධන කමිටුවේ

මහරගම මැතිවරණ කොට්ඨාශය තුළ, පසුගිය දෙසැම්බර් 31 දින වනවිට අවසන් කළ යුතු ව්‍යාපෘති 99 න් 45ක් සිදු වී නොමැති බව මහරගම සංවර්ධන කමිටු රැස්වීමේදී, අනාවරණ වි තිබේ. 

එම රැස්වීම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙහෙයවන අනුමත ව්‍යාපෘති24න් 06 ක් මෙසේ නිම කර නොමැති අතර, නගර සභාවට අනුමත වූ ව්‍යාපෘතීන් 75 න් 39 ක්ද සිදුකර නොමැති බව එහිදී අනාවරණ විය.

මෙම කරුණු හෙළි වූයේ නිම කළ ව්‍යාපෘති පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා විමසූ අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඉදිරිපත් කළ තොරතුරු අනුවය.

අනුමත වූ ව්‍යාපෘතීන් නිසි වේලාවට අවසන් කිරීම නිලධාරීන්ගේ වගකීම බව පැවසූ අමාත්‍යවරයා, වැඩිදුරටත් කියා සිටියේ ඇස්තමේන්තු පමාවීම, කොන්ත්‍රාත්කරුවන් වැඩ නොකිරීම ආදිය නිසා, මහජන මුදල් අපතේ යැවීම මෙන්ම මහජන අවශ්‍යතා ඉටු නොකිරීම, සිදු නොවිය යුතු බවය. වැඩ නිම නොකළ ව්‍යාපෘතීන් පිළිබඳ වහාම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට දැනුම් දෙන ලෙසද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වැඩ නොකරන කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛන ගතකර, නව කොන්ත්‍රාත්කරුවන් යොදා නොගන්නේ මන්දැයි ඔහු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.

මේ අතර මහරගම ආසනය සඳහා 2022 පළමු කාර්තුව සඳහා අනුමත වී ඇති ව්‍යාපෘතීන් සංඛ්‍යාව 206කි. ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ සුබසාධන, පාරිසරික ලෙස කොටස් හතරක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට නියමිතය. මහරගම සංවර්ධන කමිටු රැස්වීමට, ජනතා නියෝජිතයෝ මෙන්ම මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි වල්පොළ මහත්මිය ඇතුළු නිලධාරීහුද සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *