හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පොලිස්පතිවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, ආගමික නායකයින් සහ හිටපු ජනාධිපති ආර්යාවක ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයින් 454 දෙනෙකු සඳහා විශේෂ පොලිස් ආරක්ෂාව සපයා ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් මෙම ලේඛනය සභාගත කරන ලදී. අදාළ පුද්ගලයින්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳ සිදුකරන ලද ඇගයීම් (Threat Assessments) මත පදනම්ව මෙම ආරක්ෂාව ලබා දී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ලේඛනයට අනුව ආරක්ෂාව ලබා දී ඇති ප්‍රධාන පුද්ගලයින් කිහිප දෙනෙක් මෙසේය:
හිටපු ජනාධිපති ආර්යාව හේමා ප්‍රේමදාස මහත්මිය, හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, දේශබන්දු තෙන්නකෝන් සහ එන්. කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද මෙම ලැයිස්තුවට අයත් වේ. මීට අමතරව, හිටපු මන්ත්‍රීවරුන් වන විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්), ඩග්ලස් දේවානන්දා, සරත් ෆොන්සේකා සහ එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ට ද ආරක්ෂාව ලබා දී ඇත.
තවද, අනුරාධපුරය, කොළඹ සහ මහනුවර ප්‍රදේශවල විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්, මහනුවර කතෝලික බිෂොප්වරයා මෙන්ම සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට ද මෙම ආරක්ෂාව හිමිව තිබේ.
වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන රුවන් විජේවීර, ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන, අජිත් ශාන්ත ප්‍රියදර්ශන, එරංග සුබසිංහ, සරත් කුමාර සහ විපක්ෂයේ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ද විශේෂ පොලිස් ආරක්ෂාව ලබන පිරිස අතර වෙති.
ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, කැබිනට් අමාත්‍යවරුන්, මහානායක හිමිවරුන්, රාජ්‍යතාන්ත්‍රිකයින් සහ අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රභූවරුන්ට අමතරව මෙම පිරිසට ද මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාව සපයා ඇත.
















