වන සතුන්ගේ ශරීර කොටස් යොදා ගනිමින් ආභරණ සකසා දෙස් විදෙස් සංචාරකයින්ට අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ 21ක දඩ මුදලක් රුවන්වැල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කර තිබේ.
පොල්ගස්ඕවිට, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා බුලත්කොහුපිටිය බීට්ටු වනජීවි නිලධාරීන් සහ කුරුණෑගල වනජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී පසුගිය ජූනි 24 දින අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තමන් පවත්වාගෙන ගිය රන් ආභරණ අලෙවිසැල තුළ මෙම ජාවාරම සිදුකර තිබේ.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය කරමින් මොහු විසින් ආභරණ සැකසීම සඳහා කොටි දත්, අලි කෙඳි, ඇත් දළ, කළු කොරල්, විශේෂිත මුහුදු බෙල්ලන් සහ අලි හක්ක වැනි ද්‍රව්‍ය භාවිත කර තිබුණි. මෙම ආභරණ පැළඳීමෙන් අපල දුරු වන බව පවසමින් ව්‍යාපාරිකයා වංචනික ලෙස කටයුතු කර ඇති බව ද වනජීවි නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
මෙම වරදට වරදකරු වූ සැකකරුට නියම කළ ලක්ෂ 21ක දඩ මුදල වාරික තුනකින් ගෙවීමට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දුන් අතර, එහි පළමු වාරිකය වන රුපියල් ලක්ෂ හතක මුදල අගෝස්තු 8 වැනිදා වන විට ගෙවා නිම කරන ලෙස නියෝග කළේය.
















