වීසා කාලය ඉකුත්වී නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන විගමන පාලක ජනරාල්වරයාට ලැබුණු බුද්ධි තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පිරිස බම්බලපිටියේ පිහිටි උස් ගොඩනැගිල්ලක සැඟවී සිටියදී සොයාගැනීමට හැකි විය.
අත්අඩංගුවට ගත් පිරිසෙන් 48 දෙනෙකු වියට්නාම් ජාතිකයන් වන අතර සෙසු දෙදෙනා චීන ජාතිකයන් වේ. වයස අවුරුදු 20 ත් 35 ත් අතර පසුවන මෙම පිරිසට පිරිමි පුද්ගලයන් 33 දෙනෙකු සහ කාන්තාවන් 17 දෙනෙකු ඇතුළත් වේ. මෙම වැටලීම ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත, පාලක විමර්ශන සහ මෙහෙයුම් විපුල් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරී හරිත පාඩියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කර ඇත. සැකකරුවන් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර ඔවුන් කඩිනමින් පිටුවහල් කිරීමට නියමිතය.















