27 April 2024
#සංවර්ධන

2022 වසර තුළ ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට – ලේකම් මහාචාර්ය කපිල

සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක “ජාතික පාසල් දහසක්” වැඩසටහන යටතේ මේ වසර අවසානය වන විට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජාතික පාසල් 542ක් පාසල් පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ “ජාතික පාසල් දහසක්” වැඩසටහනේ ප්‍රගතිය හා අනාගත දරුපරපුරට හිමිවන ප්‍රතිලාභ මැයෙන් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

මේ වන විට හඳුනාගෙන ඇති, කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125 ආවරණය වන පරිදිත් අනෙක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අවම වශයෙන් එක් පාසලක් හෝ ඇතුළත් වන පරිදිත් ජාතික පාසල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ලේකම්වරයා සඳහන් කළේය.

ඉගෙනුම් ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීමට නම් මානව සම්පත වැඩි දියුණු කළ යුතු අතර ඒ උදෙසා සියලුම විෂයන්ට ප්‍රශස්ත ගුරු මණ්ඩලයක්, අවශ්‍ය විදුහල්පතිවරුන්, පරිපාලනය භාර දීම සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් හිමි විය යුතු බවත් ජාතික පාසල් බවට උසස් කිරීමෙන් මේ සියලු අවස්ථාවන් සමගින් උසස් මට්ටමේ අධ්‍යාපන අවස්ථා පුළුල් වන බවත් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන) ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේ එක් ජාතික පාසලක් සංවර්ධනය කිරීමෙන් තවත් පාසල් 5 – 8ත් අතර සංඛ්‍යාවක් පෝෂණය වන බවයි. ඒ් එම පාසල්වලට ලැබෙන විශේෂ පහසුකම් නිසාය. ජාතික පාසල් බිහිකිරීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා හිමිවීම, ලෝකය සමග ඉදිරියට ගමන් කිරීමට දරුවන්ට හැකිවීම මෙන්ම සහජ දක්ෂතා ඇති දරුවන්ට තම දක්ෂතා වලින් ඉදිරියට යා හැකි වීම විශේෂත්වයක් බවත් විදේශ විනිමය උපයා ගත හැකි වන පරිදි අනාගත දරු පරපුරක් නිර්මාණය කළ හැකි බවත් පෙන්වා දුන්නේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *