27 April 2024
#දේශීය

මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් ගොවීන්ට බෙදා දෙයි – කෘෂිකර්ම අමාත්‍යංශය

2021-22 මහ කන්නයේ දී වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල් උපයෝගී කර ගනිමින් රුපියල් මිලියන 657ක් මේ වනවිට බෙදා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

විශේෂයෙන් 2021-22 මහ කන්නයේ දී නියඟය, ගංවතුර හා වන අලි හානි මගින් වගාවන්ට සිදුවූ හානිය සැළකිල්ලට ගනිමින් මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇති අතර මේ යටතේ ගොවීන් 31,613කට අක්කර 42,934ක් සඳහා වන්දි ලබා දීමට කටයුතු යොදා තිබේ.

ප්‍රදේශ අනුව වැඩිම වන්දි මුදල් ප්‍රමාණයක් හිමිවන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයට රුපි. මි. 81ක්ද, පොලොන්නරුවේ මනම්පිටියට මිලියන 69ක්, මොනරාගලට මිලියන 68ක් ද වශයෙන් ලබා දීමට පියවර ගෙන ඇත.

මේ අතර මොනරාගල සේනා දළඹුවාගෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සංකේතවත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් බුත්තල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී පසුගියදා ගොවීන් දස දෙනෙකුට වගා හානි වන්දි මුදල් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ද සහභාගි වී සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *