සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහනේ පළමු දිනය වූ අද (08) දිනය තුළ පමණක් දිස්ත්‍රික්ක 14කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කොට්ඨාස 72 කින් පරිශ්‍ර 70,000 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන ජූනි 10 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
වැඩසටහනේ පළමු දිනයේ ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ දී පැවැති සමාලෝචනයකදී, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේ ආරම්භක දින කටයුතු ඉතා සාර්ථකව සිදු වූ බවයි. කෙසේ වෙතත්, සිදු කළ පරීක්ෂණවලදී නිවෙස්, පාසල් සහ රාජ්‍ය ආයතන රැසක ඩෙංගු මදුරුවන් බෝවිය හැකි සහ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන විශාල වශයෙන් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකි වී තිබේ.
විශේෂයෙන්ම හිමිකරුවන් නොමැති සහ දැනට භාවිතා නොකර වසා දමා ඇති පාළු පරිශ්‍ර තුළ මදුරුවන් බෝවන ස්ථාන බහුලව හඳුනාගෙන ඇති අතර, මෙලෙස මදුරු කීටයින් බෝවීමට ඉඩ හැර තිබූ ආයතන සහ පරිශ්‍රවල වගකිවයුත්තන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද වෛද්‍යවරයා අවධාරණය කළේය.
මෙම ජාතික වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI), සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රජා මූලික සංවිධාන සහ ඩෙංගු සහායකයින් ඇතුළු විශාල පිරිසක් ඒකාබද්ධව කණ්ඩායම් වශයෙන් ගෙයින් ගෙට ගොස් පරීක්ෂණ කටයුතු සිදු කර ඇත. වැඩසටහන ක්‍රියාත්මක ඉදිරි දින දෙක තුළ ද ඩෙංගු අවදානම පාලනය කිරීම වෙනුවෙන් මහජනතාවගෙන් උපරිම සහයෝගය ලබාදෙන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය විවෘත ඉල්ලීමක් කරයි.
















