බ්‍රිතාන්‍යයේ චෙල්ටන්හැම් හි පදිංචි 97 හැවරදි බෙටි බ්‍රොමේජ් (Betty Bromage) නැමැති කාන්තාවක ලොව වයස්ගතම කාන්තා පියාපත් මත ඇවිදින්නා (Oldest female wing walker) ලෙස ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ.
2025 වසරේදී ආඝාත (Stroke) තත්ත්වයකට මුහුණ දී ප්‍රතිකාර ලැබූ ඇය, මීට වසර හතරකට පෙර තබන ලද ඇයගේම පැරණි වාර්තාව මෙලෙස අලුත් කර ඇත. චෙල්ටන්හැම් මහා රෝහලේ ආඝාත ඒකකයේ කාර්ය මණ්ඩලය තමාට දැක්වූ සත්කාරයට කෘතගුණ සැලකීමක් ලෙස සහ එම රෝහලට අරමුදල් රැස් කිරීමේ අරමුණින් ඇය මෙම ත්‍රාසජනක අභියෝගය භාරගෙන තිබේ.
වයස අවුරුදු 87 සිට මේ දක්වා පියාපත් මත ඇවිදීමේ අභියෝග 6 වතාවක්ම සාර්ථකව නිම කර ඇති ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තමාට රිය පැදවීමට නොහැකි වීම සහ පෙනීමේ දුර්වලතා නිසා ඇතිවන කලකිරීම මඟහරවා ගැනීමට මෙවැනි දේ කරන බවයි. තමාගේ වයස 100 සපිරෙන දිනය වෙනුවෙන් තවත් විශේෂ දෙයක් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසා ඇත.
















