ගල්ෆ් කලාපයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ (MRIA) සිය මෙහෙයුම් කටයුතු සඳහා භාවිත කිරීමට සූදානම් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කළේය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වී තිබෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මත්තල ගුවන්තොටුපළ පරිශීලනය කරන ලෙස ශ්‍රී ලංකා රජය කළ ආරාධනයට එම සමාගම්වලින් මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඔහු තහවුරු කළේය. ‘EconomyNext’ පුවත් සේවය සමඟ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අදාළ ගුවන් සමාගම් රජයේ ආරාධනය අගය කළ ද, මත්තල වැනි වසරකට මගීන් මිලියනයක ධාරිතාවක් සහිත ගුවන්තොටුපළකට ඔවුන්ගේ දැවැන්ත මෙහෙයුම් ජාලයන් ක්ෂණිකව මාරු කිරීම ප්‍රායෝගික නොවන බවයි.
ගුවන් යානා සඳහා ඉන්ධන ලබාගැනීම හෝ සංක්‍රමණික කටයුතු (Transit) සඳහා මත්තල ගුවන්තොටුපළ භාවිත කරන්නේ නම්, ගුවන් යානා ගොඩබැස්වීමේ සහ නවතා තැබීමේ ගාස්තු (Landing and Parking fees) සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට රජය සූදානම් බව ද මෙහිදී දැනුම් දී ඇත. එසේ වුවද, කිසිදු ගල්ෆ් කලාපීය නියෝජිත කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණෙන බවට පළ වූ මාධ්‍ය වාර්තා ද නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. වර්තමාන ගෝලීය බලශක්ති සහ ආරක්ෂක අර්බුදය හමුවේ මත්තල ගුවන්තොටුපළ විකල්ප මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය උත්සාහ කළ ද, ජාත්‍යන්තර ගුවන් සමාගම්වල මෙහෙයුම් තීරණ වඩාත් සංකීර්ණ පදනමක පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














