කලාපීය නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. අද (30) උදෑසන වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.9%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර, එය සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 115.84ක් ලෙසයි.
පසුගිය පෙබරවාරි 28 වන දින ඉරානය ඉලක්ක කර ගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර මාලාව ආරම්භ වීමට පෙර, ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල පැවතියේ ඩොලර් 72කට ආසන්න මට්ටමකය. කෙසේ වෙතත්, යුදමය තත්ත්වයත් සමඟ සැපයුම් ජාලයට එල්ල වූ බලපෑම හේතුවෙන් මාර්තු 19 වන දින බොරතෙල් මිල ඩොලර් 118ක උපරිම අගයක් දක්වා ඉහළ ගියේය.
යුද්ධයට පෙර පැවති මිල ගණන් සමඟ සැසඳීමේදී මෙය ඉතා සැලකිය යුතු ඉහළ යාමක් වන අතර, මෙම තත්ත්වය ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි ආනයනික තෙල් මත යැපෙන රටවලට ද සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.














