වසර 50කට පෙර ඇපලෝ (Apollo) මෙහෙයුම් මගින් මිනිසා සඳ මත පා තැබුවද, නාසා ආයතනය නැවතත් අතිවිශාල පිරිවැයක් දරමින් ‘Artemis II’ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ ඇයිද යන්න පිළිබඳව ලෝකයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. ඉදිරි දින කිහිපය තුළ ගගනගාමීන් සිව්දෙනෙකු සඳ වටා ගමන් කරවීමට සැලසුම් කර ඇති මෙම මෙහෙයුම, හුදෙක් ගවේෂණයකට එහා ගිය ආර්ථික හා විද්‍යාත්මක අරමුණු රැසක් සහිත එකකි. චන්ද්‍ර මතුපිට පවතින දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය (Rare Earth Elements), යකඩ, ටයිටේනියම් සහ සුපිරි සන්නායක සඳහා යොදාගන්නා හීලියම් (Helium) වැනි වටිනා සම්පත් කැණීම මෙහි එක් ප්‍රධාන අරමුණකි.
විශේෂයෙන්ම සඳෙහි ධ්‍රැවීය ප්‍රදේශවල පවතින අයිස් රූපී ජලය සොයා ගැනීම මෙම මෙහෙයුමේ තීරණාත්මක ජයග්‍රහණයක් වනු ඇත. එම ජලය පානය සඳහා පමණක් නොව, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ලෙස වෙන් කිරීමෙන් ගගනගාමීන්ට ආශ්වාස කිරීමට අවශ්‍ය වාතය සහ අභ්‍යවකාශ යානා සඳහා අවශ්‍ය ඉන්ධන නිපදවීමට ද හැකියාව ලැබේ. සඳ මත ස්ථාවර මධ්‍යස්ථානයක් (Moon Base) ඉදිකිරීම හරහා අනාගතයේදී අඟහරු (Mars) වැනි ඈත ග්‍රහලෝක වෙත යන ගමන් මගෙහි අතරමැදි නැවතුම්පොළක් ලෙස සඳ භාවිතා කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි. ඩොලර් බිලියන 93ක පමණ වියදමක් දරා සිදුකරන මෙම දැවැන්ත ආයෝජනය, මානව වර්ගයාගේ අභ්‍යවකාශ ජනාවාසකරණ සිහිනය සැබෑ කරගැනීමේ පළමු පියවර ලෙස සැලකේ.














