ලෝකයේ ප්‍රධාන පෙළේ බහුජාතික දුම්කොළ සමාගම් විසින් සිගරට් ඇතුළු තම නිෂ්පාදනවලින් සිදුවන මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීම සහ රජයන් මඟින් පනවනු ලබන බදු ඇතුළු නීතිමය රෙගුලාසි පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත තමන්ට අවශ්‍ය පරිදි සූක්ෂ්ම ලෙස වෙනස් කරන ආකාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ බාත් විශ්වවිද්‍යාලයේ (University of Bath) දුම්කොළ පාලන පර්යේෂණ කණ්ඩායම විසින් විශේෂ හෙළිදරව්වක් කර තිබේ. මෙම විද්වතුන් විසින් දුම්කොළ කර්මාන්තයේ මෙම කූට ක්‍රියාවලිය පැහැදිලි කිරීම සඳහා “ලාභය සඳහා වූ විද්‍යා ආකෘතිය” (Science for Profit Model) නමින් විශේෂ ආකෘතියක් සහ උපායමාර්ග 5ක් (Strategies) ලෝකය හමුවේ තබා ඇත.
මෙම ජාත්‍යන්තර පර්යේෂණයට අනුව, දුම්කොළ මාෆියාව විසින් විද්‍යාව තමන්ගේ වාසියට හරවා ගැනීමට භාවිත කරන ප්‍රධානතම උපායමාර්ගයන් මෙසේය:
පර්යේෂණ තමන්ට අවශ්‍ය පරිදි හැඩගැස්වීම (Strategy A): 1950 දශකයේදී සිගරට් සහ පිළිකා අතර සෘජු සබඳතාවක් ඇති බව විද්‍යාත්මකව තහවුරු වෙද්දී, දුම්කොළ සමාගම් විසින් ‘දුම්කොළ කර්මාන්ත පර්යේෂණ කමිටුව’ පිහිටුවා පිළිකා ඇතිවීමට හෝමෝන සහ පෝෂණය වැනි විකල්ප හේතු සෙවීමට වෙනත් පාර්ශවයන්ට මුදල් ලබා දී මහජන අවධානය වෙනතකට යොමු කළහ. එමෙන්ම 1980 දශකයේ නිෂ්ක්‍රීය දුම්පානයේ (Passive Smoking) හානිය වසාගැනීමට වායු පෙරහන් වැනි “ගෘහස්ථ වායු” ගැටලු පිළිබඳ පර්යේෂණ කරවූ අතර, මෑතකාලීනව ‘දුම්කොළවලින් තොර ලෝකයක් සඳහා වූ පදනම’ (FSFW) හරහා නව විද්‍යුත් සිගරට් ප්‍රවර්ධනය කරමින් දුම්පානය පාලනය නොවීමේ වරද සෞඛ්‍ය අංශ සහ මාධ්‍ය මත පැටවීමට ඔවුන් ක්‍රියා කරයි.
විද්‍යාත්මක දත්ත විකෘති කිරීම (Strategy B): 1990 දශකයේදී ඔවුන් “යහපත් වසංගතවේදය” වැනි ප්‍රචාරණ ව්‍යාපාර දියත් කරමින් නිෂ්ක්‍රීය දුම්පානයේ හානිය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි ප්‍රතික්ෂේප කළහ. එමෙන්ම දුම්කොළ පාලනයට සම්බන්ධ විද්වතුන් “අන්තවාදීන්” සහ “මධ්‍යස්ථ මතධාරීන්” ලෙස බෙදා වෙන් කිරීමට ‘Project Sunrise’ වැනි රහසිගත ව්‍යාපෘති දියත් කරමින් විද්‍යාඥයන්ට ප්‍රහාර එල්ල කළහ.
බොරු ප්‍රචාර සඳහා ‘ප්‍රතිරාව කුටීර’ (Echo Chambers) හැදීම (Strategy C): තමන්ගේ විද්‍යාත්මක මතයන් සමාජගත කිරීම සඳහා ස්වාධීන යැයි පෙනී සිටින බුද්ධිමත් මණ්ඩල (Think Tanks), විශේෂඥයන් සහ ‘Whitecoat Project’ වැනි රහසිගත සැලසුම් හරහා විද්‍යාඥයන් බඳවාගෙන දුම්පානය සමාජගත කිරීමට ක්‍රියා කරති. මීට අමතරව ‘Filter’ වැනි සඟරා සහ මාධ්‍ය ආයතනවලට මුදල් පොම්ප කරමින් තමන්ගේ මතයන් ප්‍රසිද්ධ කරති.
තමන්ට ගැළපෙන නීතිමය වටපිටාවන් සකස් කිරීම (Strategy D): යුරෝපා සංගමය (EU) වැනි ජාත්‍යන්තර ආයතනවල ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් කරමින්, තමන්ගේ නිෂ්පාදන පරීක්ෂා කිරීමේ විද්‍යාත්මක නිර්ණායකයන් තමන්ටම සකස් කරගැනීමට ‘Smart Regulation’ වැනි නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා දුම්කොළ සමාගම් බරපතල ලෙස අරමුදල් වියදම් කරති.
විශ්වාසනීය ප්‍රතිරූපයක් මවාපෑම (Strategy E): දුම්කොළ සමාගම්වල වංචනික ඉතිහාසය නිසා වර්තමානයේ ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාල ඔවුන් සමඟ සෘජුව වැඩ නොකරන බැවින්, ඔවුන් ‘Foundation for a Smoke-Free World’ (FSFW) වැනි ව්‍යාජ තෙවන පාර්ශවීය සංවිධාන සහ මහජන සබඳතා (PR) ආයතන සාදාගෙන, තමන් ද ප්‍රතිපත්තියේ සහ විද්‍යාවේ කොටස්කරුවෙකු ලෙස පෙනී සිටීමට දැඩි උත්සාහයක නිරත වෙති.
බාත් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අවධාරණය කරන්නේ, දුම්කොළ කර්මාන්තය විද්‍යාව සඳහා සම්බන්ධ වන්නේ කිසිසේත්ම මිනිස් වර්ගයාගේ සෞඛ්‍යය දියුණු කිරීමට හෝ දැනුම වර්ධනය කිරීමට නොව, පර්යේෂණ ලේඛන තමන්ට අවශ්‍ය පරිදි තෝරා බේරා (Cherry-picking) ප්‍රසිද්ධ කරමින්, මහජනතාව තුළ සැකය සහ නොදැනුවත්කම වර්ධනය කර තමන්ගේ කෝටි ප්‍රකෝටි ගණනක ‘කෝපරේට් ලාභය’ (Corporate Profits) උපරිම කරගැනීම සඳහා පමණක් බවයි.
















