විදෙස්ගතව සිටින ප්‍රධාන ගණයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ළඟම අනුගාමිකයන් 8 දෙනෙකු ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
අද (09) දින අලුයම කාලයේ ගල්කිස්ස, දෙහිවල සහ අඟුලාන යන ප්‍රදේශ ආවරණය වන පරිදි ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් දියත් කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරුවන් පිරිස කොටු කරගෙන ඇත. වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබූ ජීව අත්බෝම්බයක්, අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සහ ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කර තිබූ තියුණු ආයුධ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 56ත් අතර පසුවන අඟුලාන, මොරටුව සහ රත්මලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය හඳුනාගෙන ඇත.
දැනට සිදුකළ මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් පිරිස මෑතකදී දෙහිවල ප්‍රදේශයේ සිදුවූ තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන්ට බරපතළ තුවාල සිදුකිරීමේ අපරාධය ඇතුළු ප්‍රදේශයේ සිදුවූ දරුණු ගණයේ අපරාධ රැසකට සෘජුවම සම්බන්ධ වී ඇති බවයි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සැකකරුවන් සහ ඔවුන් මෙහෙයවූ විදෙස් ජාලය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.















