ශ්‍රී ලංකා පොලිසිය විසින් සිවිල් ගිනිඅවි බලපත්‍රලාභීන් සඳහා විශේෂිත නව නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව 2026 වර්ෂය සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, සෑම ගිනිඅවි බලපත්‍රලාභියෙකුම තමන් සතු ගිනිඅවිය මාස හයකට වරක් අනිවාර්ය පරීක්ෂාවකට ලක් කළ යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයට අනුව, බලපත්‍රලාභීන් තමන්ගේ ගිනිඅවි බලපත්‍රය ලබාගෙන හෝ අලුත් කර මාස හයක් ගතවීමෙන් පසු ළඟම ඇති පොලිස් ස්ථානය වෙත සිය ගිනිඅවිය ඉදිරිපත් කළ යුතුය. එහිදී අදාළ පොලිස් බලධාරීන් විසින් එම ගිනිඅවියේ ක්‍රියාකාරීත්වය සහ එහි අනුක්‍රමික අංකය (Serial Number) බලපත්‍රයේ සඳහන් දත්ත සමඟ නිවැරදිව ගැළපෙන්නේද යන්න සවිස්තරාත්මකව පරික්ෂා කරනු ලබයි. ජාතික ආරක්ෂක කවුන්සිලයේ සෘජු උපදෙස් මත මෙම නව ක්‍රමවේදය සකස් කර ඇති අතර, එය දිවයිනේ සියලුම ගිනිඅවි බලපත්‍රලාභීන් සඳහා අදාළ වනු ඇත.
පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC) සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත මෙම නව පරික්ෂණ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක කරන ලෙසට ද, එක් එක් පරික්ෂාවෙන් පසුව අදාළ බලපත්‍රලාභියා වෙත අවශ්‍ය සහතික පත්‍රය නිකුත් කරන ලෙසට ද නියෝග කර තිබේ. මෙම නව ආරක්ෂක ක්‍රමවේදය යටතේ ගිනිඅවි හිමිකරුවන් වසරකට දෙවතාවක් මෙම නිල සෝදිසි කිරීමේ ක්‍රියාවලියට යටත් විය යුතු අතර, ගිනිඅවිය සහ බලපත්‍ර වාර්තා අතර පවතින අනුකූලතාව තහවුරු කිරීමෙන් අනතුරුවම පොලිසිය විසින් අදාළ සහතිකය නිකුත් කරනු ලබයි.
















