ඊශ්‍රායලය විසින් ලෙබනනය තුළ සිදුකරන ගොඩබිම් ආක්‍රමණ ව්‍යාප්ත කිරීමත් සමඟ දකුණු ලෙබනනයේ රාජකාරියේ නිරතව සිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් දෙදෙනෙකු (UNIFIL) ඊයේ (30) ජීවිතක්ෂයට පත්ව තිබේ. දකුණු ලෙබනනයේ බානි හයියන් ගම්මානය අසලදී ඔවුන් ගමන් කළ වාහනයක් හඳුනා නොගත් පිපිරීමකට හසුව විනාශ වීමෙන් මෙම මරණ සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය නිල වශයෙන් තහවුරු කරයි.
වාර්තා වන පරිදි මෙම පිපිරීමෙන් තවත් සාම සාධක භටයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන් වේ. මෙම මාරාන්තික සිදුවීම වාර්තා වන්නේ, මීට පැය කිහිපයකට පෙර දකුණු ලෙබනනයේම පිහිටි තවත් UNIFIL කඳවුරක සිදුවූ පිපිරීමකින් තවත් සාම සාධක භටයෙකු මියයෑමේ පුවතක් වාර්තා වී තිබියදීය.
මෙම ප්‍රහාරයන් එල්ල වූයේ කුමන පාර්ශවයකින්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති වුවද, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එක්සත් ජාතීන්ගේ බලකාය පවසයි. කලාපය තුළ පවතින යුදමය වාතාවරණය හමුවේ සාම සාධක භටයන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව සිය දැඩි අවධානය යොමු කර තිබේ.














