දකුණු ඇල්බර්ටා (Alberta) සහ මොන්ටානා (Montana) ප්‍රාන්ත යා කරමින් පවතින “බෝඩර් රෝඩ්” (Border Road) ලෙස හැඳින්වෙන දේශසීමා මාර්ගය එළැඹෙන ජූලි 01 වනදා සිට කැනේඩියානු රථවාහන සඳහා වසා දැමීමට ඇමෙරිකානු රජය තීරණය කර තිබේ. ආරක්ෂක හේතූන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමේ අරමුණින් ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් දේශසීමාව දෙපස වසන වැසියන් සහ ගොවීන් දැඩි කෝපයට පත්ව සිටිති. දශක ගණනාවක සිට ප්‍රදේශවාසීන් විසින් අවිධිමත් ලෙස භාවිතා කරන ලද මෙම සැතපුම් 8-10ක් පමණ දිගැති බොරළු මාර්ගය තාක්ෂණික වශයෙන් ඇමෙරිකානු භූමියට අයත් වුවද එහි නඩත්තු කටයුතු සිදු කරනු ලබන්නේ කැනඩාවේ වෝනර් ප්‍රාන්තය (Warner County) මගිනි.
මෙම ගැටලුවට විසඳුමක් ලෙස කැනඩා රජය විසින් තම භූමිය තුළම විකල්ප මාර්ගයක් ඉදිකිරීමට දැනටමත් සැලසුම් කර ඇත. ඇල්බර්ටා ප්‍රවාහන අමාත්‍ය ඩෙවින් ඩ්‍රීෂන් (Devin Dreeshen) ප්‍රකාශ කර ඇත්තේ මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක මුදලක් වෙන් කර ඇති බවයි. මෙම නව මාර්ගයේ ඉදිකිරීම් අප්‍රේල් මාසයේදී ආරම්භ කර එළැඹෙන ගිම්හාන සෘතුවේදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














