ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇනහයිම් (Anaheim) හි පිහිටි සුප්‍රකට ඩිස්නිලෑන්ඩ් (Disneyland Resort) උද්‍යානයට ඉතා සමීප ප්‍රදේශයක ඊයේ (30) හදිසි ගින්නක් හටගෙන තිබේ. උද්‍යානයට යාබද “Calle Del Sol” ප්‍රදේශයේ පිහිටි නිවසක මෙම ගින්න හටගෙන ඇති අතර ඒ හේතුවෙන් ප්‍රදේශය පුරා විශාල වශයෙන් දුමාරයක් පැතිර ගොස් ඇති බව වාර්තා වේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනවල ඩිස්නිලෑන්ඩ් උද්‍යානයට ඉහළින් අහස දෙසට විශාල දුමාරයක් නැගෙන අයුරු දැකගත හැකිය. කෙසේ වෙතත් ඇනහයිම් ගිනි නිවන අංශ ප්‍රකාශ කළේ ගින්න එක් නිවසකට පමණක් සීමා කර පාලනය කිරීමට සමත් වූ බවයි. මෙම සිදුවීමෙන් ඩිස්නිලෑන්ඩ් උද්‍යානයට හෝ එහි සිටින සංචාරකයින්ට කිසිදු තර්ජනයක් නොමැති බව බලධාරීන් වැඩිදුරටත් තහවුරු කර ඇත.














