ඉශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ (West Bank) ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවී පුද්ගල ඝාතන සිදු කරන පලස්තීනුවන්ට මරණ දණ්ඩනය ලබා දීම සඳහා වූ නව පනතක් ඉශ්‍රායල පාර්ලිමේන්තුව (Knesset) විසින් අද (31) සම්මත කරන ලදී. ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඇතුළු මන්ත්‍රීවරුන් 62 දෙනෙකු මෙයට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර, මන්ත්‍රීවරුන් 48 දෙනෙකු මෙයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.
අන්ත දක්ෂිණාංශික ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමර් බෙන් ග්වීර් (Itamar Ben Gvir) විසින් මෙම පනත ඉදිරිපත් කළ අතර, එල්ලුම් ගහක හැඩැති ලාංඡනයක් පැළඳ සිටිමින් ඔහු සිය සහයෝගය පළ කළේය. පනත සම්මත වීමෙන් පසු ඔහු සඳහන් කළේ “අපි ඉතිහාසය නිර්මාණය කළා” යනුවෙනි. මෙම නව නීතිය යටතේ හිතාමතා සිදු කරන ත්‍රස්තවාදී ඝාතන සඳහා “එල්ලුම් ගස” මූලික දඬුවම ලෙස ක්‍රියාත්මක වනු ඇත.
කෙසේ වෙතත්, මෙම නීතිය වෙනස් කොට සැලකීමක් සහ අමානුෂික ක්‍රියාවක් බව පවසමින් ජාත්‍යන්තර ප්‍රජාව සහ මානව හිමිකම් සංවිධාන දැඩි විරෝධයක් පළ කර තිබේ. නීති විශාරදයින් පවසන්නේ මෙම නීතිය සකස් කර ඇති ආකාරය අනුව එය ප්‍රධාන වශයෙන් පලස්තීනුවන්ට පමණක් බලපාන අතර ඉශ්‍රායල යුදෙව් පුරවැසියන් මෙයින් නිදහස් වීමේ ඉඩකඩක් පවතින බවයි.













