ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට එරෙහිව දියත් කර ඇති හමුදා මෙහෙයුම්වල අරමුණුවලින් අඩකට වඩා මේ වන විටත් සාක්ෂාත් කරගෙන ඇති බවයි. කෙසේ වෙතත්, මාසයක් පුරා ඇදී යන මෙම කලාපීය යුද්ධය අවසන් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් ලබා දීමට ඔහු සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් එකඟ වී නොමැත. “අපි අනිවාර්යයෙන්ම යුද අරමුණුවලින් අඩක් පසු කර තිබෙනවා, නමුත් මම ඒ සඳහා කාලසටහනක් ඉදිරිපත් කිරීමට කැමති නැහැ,” යනුවෙන් නෙතන්යාහු Newsmax නාලිකාවට පවසා තිබේ.
ඊශ්‍රායලය විසින් ටෙහෙරාන් අගනුවරට එල්ල කළ අලුත්ම ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය අද (31) අලුයම මැදපෙරදිග පුරා මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කළේය. ටෙහෙරාන් අගනුවර ඇතැම් ප්‍රදේශවල විදුලිය ඇනහිටීම් සිදු වී ඇති අතර, මධ්‍යම ඉරානයේ පිහිටි හමුදා මධ්‍යස්ථාන කිහිපයකට ද ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ. ජෙරුසලම පුරා ද අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් වී ඇති අතර, ඉරාන මිසයිලවලට තමන් සාර්ථකව ප්‍රතිචාර දැක්වූ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ඉරානය විසින් ගල්ෆ් කලාපයේ රටවල් ඉලක්ක කර දියත් කළ ප්‍රහාර හේතුවෙන් ඩුබායි හි පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, කුවේට් තෙල් නැවක් ගිනි ගැනීමට ද ලක්ව තිබේ. සෞදි අරාබිය විසින් බැලිස්ටික් මිසයිල අටක් ව්‍යර්ථ කිරීමට සමත් වූ අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පවසන්නේ තමන් ඉලක්ක කරන්නේ සෞදි අරාබියේ සිටින ඇමෙරිකානු හමුදා පමණක් බවයි. ඇමෙරිකානු හමුදා කලාපයෙන් පිටුවහල් කරන ලෙස ඔහු සෞදි අරාබියෙන් ඉල්ලා සිටියද, ගල්ෆ් කලාපයේ රටවල් මේ වන විට ඉරානය කෙරෙහි දැඩි කෝපයෙන් පසුවන බව දේශපාලන වාර්තා පෙන්වා දෙයි.














