ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ සහ සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් තෝරාගනු ලැබූ රටවල් 39ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට ගාස්තු අය කිරීමකින් තොරව මාස 06ක කාලසීමාවක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමට අදාළව සකස් කරන ලද කෙටුම්පත් නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මූලික අනුමැතිය 2025 ජූලි 21 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී තිබුණි. ඒ අනුව නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා ආගාමික හා විගමික පනතේ විධිවිධාන ප්‍රකාරව නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම නව කෙටුම්පත් නියෝග සකස් කර ඇත.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම නියෝග ඉදිරියේදී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය සම්මත වීමෙන් පසු අදාළ රටවල් 39 ක වැසියන්ට මෙම සහනය හිමිවනු ඇත.














