ඉන්දියාවේ බැංගලෝරය පදනම් කරගෙන සේවය කළ තරුණ මෘදුකාංග ඉංජිනේරු යුවළක් පසුගිය සඳුදා සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ. තෙලන්ගානා ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන බිබී ශාසියා සිරාජ් (Bibi Shaziya Siraj – 31) සහ භානු චන්දර් රෙඩ්ඩි කුන්ටා (Bhanu Chander Reddy Kunta – 32) මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
තමන් පදිංචිව සිටි නිවසේ නිදන කාමරය ඇතුළතින් අගුළු දමා තිබීම හේතුවෙන් ශාසියා සිය ස්වාමිපුරුෂයාට දොර අරින ලෙස පවසා ඇති අතර, කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා ඇය අසල්වාසීන්ගේ සහ ආරක්ෂක අංශවල සහය ලබාගෙන ඇත. පසුව බලහත්කාරයෙන් දොර විවෘත කළ විට භානු නිදන කාමරය තුළ ගෙල වැලලාගෙන මියගොස් සිටිනු දැක තිබේ. සිය ස්වාමිපුරුෂයාගේ මරණයෙන් දැඩි කම්පනයට පත් ශාසියා, ඉන් මිනිත්තු කිහිපයකට පසු එම ගොඩනැගිල්ලේම 17 වැනි මහලෙන් බිමට පැන දිවි හානිකරගෙන ඇත.
මෙම මරණවලට හේතුව සෞඛ්‍ය ගැටලු, පවුල් ආරවුල් හෝ මානසික පීඩනයක් ද යන්න පිළිබඳව බැංගලෝර් පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කරන බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.














