කොළඹ ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයේ සංගීත අංශ කණ්ඩායම, සිංගප්පූරු ජාත්‍යන්තර ගායනා හා සංගීත උළෙලේදී (SICF 2026) විශිෂ්ට දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අභිමානයක් අත්කර දීමට සමත්ව තිබේ. සිසුන් 175 දෙනෙකුගෙන් සමන්විත විශාල පිරිසක් මෙවර තරගාවලියට එක්වූ අතර, එය තරගාවලියට සහභාගී වූ විශාලතම කණ්ඩායම් අතරින් එකක් ලෙස ද කැපී පෙනුණි.
ඔවුන් මෙහිදී තරග අංශ 3ක් යටතේ සිය නර්තන, සංගීත හා ගායන දක්ෂතාව මැනවින් ප්‍රදර්ශනය කරමින් පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය. ඒ අනුව Equal Voices අංශයෙන් රන් පදක්කමක් ද, Musica Sacra Open අංශයෙන් රිදී පදක්කමක් ද, Folklore Open අංශයෙන් තවත් රිදී පදක්කමක් ද ශ්‍රී ලංකාවට හිමිකර දීමට ඔවුන්ට හැකි විය.
විශේෂයෙන්ම ජනශ්‍රැති අංශයේදී ශ්‍රී ලංකාවේ පාරම්පරික තනු, රංග වින්‍යාසයන් සහ සංගීත රටා මුසු කරමින් ඉදිරිපත් කළ අංගය ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ඇගයීමට ලක්විය. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය, සිංගප්පූරු-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය, දෙමාපියන්, ආදි ශිෂ්‍යාවන් ඇතුළු අනුග්‍රාහකයන්ගේ සහය ද මෙම ඓතිහාසික ජයග්‍රහණය පසුපස තිබූ බව සඳහන් වේ.
















