දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා තරුණයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල, වංචාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාට ලැබුණු විශේෂ තොරතුරක් මත උපාය දූතයන් යොදවා සිදු කළ සෝදිසි මෙහෙයුමකිනි.
සැකකරු විසින් මාතර, රාහුල හන්දියේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වන ලද විශේෂ හඳුන්වාදීමේ වැඩසටහනකදී තරුණයන් නොමඟ යවා ඇත. එහිදී කොරියානු භාෂාව පුහුණු කිරීමෙන් පසුව රජය මඟින් ලබා දෙන දකුණු කොරියානු රැකියා සඳහා තරුණයන් යොමු කරන බව පවසා ඇති ඔහු, ඒ සඳහා වන මූලික ලියාපදිංචිය වෙනුවෙන් රුපියල් 20,000ක මුදලක් අය කර තිබේ. එසේම එදින ලියාපදිංචි වන පිරිස් සඳහා කොරියානු භාෂාව හැදෑරීමට ජාත්‍යන්තර සිංහ සමාජය (Lions Club International) විසින් ප්‍රදානය කරනු ලබන රුපියල් 35,000ක ව්‍යාජ වවුචර්පතක් ලබා දෙන බව ද පවසා ඇත. විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙම ජාවාරම සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ ‘අකාසුකී ලංකා’ නමින් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි පැමිණි සිසුන් ද මෙම මූල්‍ය වංචාවට හසු කරගෙන තිබේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද සැකකරු එළඹෙන අප්‍රේල් මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. දකුණු කොරියානු රැකියා වැඩසටහන සම්පූර්ණයෙන්ම රාජ්‍යයන් අතර (G2G) පමණක් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් වන අතර, මේ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනත් කිසිදු පෞද්ගලික බාහිර ආයතනයක් සම්බන්ධ කර නොගන්නා බැවින් මෙවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.














