බැග්ඩොග්රා සිට දිල්ලි බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් (Air India Express) ගුවන් යානයක්, ගුවන්ගතව සිටියදී ඇති වූ දුම් පිටවීමක් හේතුවෙන් ලක්නව් හි චෞද්රි චරන් සිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදු කර තිබේ. මගීන් 148 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැගත් IX1523 දරන මෙම යානයේ නියමුවා විසින් ජාත්‍යන්තරව පිළිගත් ‘Mayday’ ආපදා සංඥාව නිකුත් කිරීමෙන් පසු ඊයේ (30) සන්ධ්‍යාවේ මෙම පියවර ගෙන ඇත.
ගුවන් යානයේ විද්‍යුත් පද්ධති පිහිටා ඇති ප්‍රදේශයෙන් (Avionics bay) දුම් පිටවන බව කාර්ය මණ්ඩලය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ. ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් යානය ලක්නව් වෙත හරවා ඇති අතර, කිසිදු මගියෙකුට හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට හානියක් සිදු නොවී යානය සාර්ථකව ගොඩබැස්වීමට නියමුවා සමත් විය.
ගොඩබෑමෙන් පසු සියලුම මගීන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දී ඇති අතර, ඔවුන්ව වෙනත් විකල්ප ගුවන් යානා මඟින් දිල්ලි බලා යැවීමට ගුවන් සමාගම කටයුතු කර තිබේ. යානයේ ඇති වූ කාර්මික දෝෂය පිළිබඳව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.














