හයිටි රාජ්‍යයේ උතුරුදිග ආර්ටිබොනයිට් (Artibonite) කලාපයේ ජීන්-ඩෙනිස් (Jean-Denis) සහ අවට ගම්මාන ඉලක්ක කරගනිමින් “ග්‍රාන් ග්‍රිෆ්” (Gran Grif) සන්නද්ධ අපරාධ කල්ලිය එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයකින් පුද්ගලයින් 70 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 2026 මාර්තු 29 වන ඉරිදා අලුයම 2:00 ට පමණ ආරම්භ වූ මෙම ප්‍රහාරය, ප්‍රදේශයේ වැසියන් සාම්ප්‍රදායික “ලා රා-රා” (La Ra-Ra) පාස්කු සංස්කෘතික උත්සවය සැමරීමට සූදානම් වෙමින් සිටියදී එල්ල වී ඇත. ප්‍රහාරකයින් නිවාසවලට කඩා වැදී වෙඩි තැබීම් සිදුකර ඇති අතර, එහිදී කාන්තාවන් සහ කුඩා ළමුන් ඇතුළු විශාල පිරිසක් ඝාතනය කර ඇති බව වාර්තා වේ.
රොයිටර් (Reuters) සහ ඒපී (AP) වැනි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම ප්‍රහාරය මාර්තු 30 වන සඳුදා අලුයම දක්වාම අඛණ්ඩව සිදුව ඇති අතර, ප්‍රහාරකයින් විසින් නිවාස 50 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම ගිනිබත් කර තිබේ. මුලින් මියගිය සංඛ්‍යාව 16 ක් ලෙස වාර්තා වුවද, මානව හිමිකම් සංවිධාන තහවුරු කරන්නේ මේ වන විට මරණ සංඛ්‍යාව 70 ඉක්මවා ඇති බවත් තවත් 30 කට වැඩි පිරිසක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත්ය. මෙම දරුණු ප්‍රචණ්ඩත්වය හමුවේ බියට පත් වූ ප්‍රදේශවාසීන් 6,000 කට අධික පිරිසක් සිය දේපළ අතහැර ආරක්ෂිත ස්ථාන කරා පලා ගොස් ඇති බව ද වාර්තා වේ.
හයිටි රාජ්‍යය පුරා වර්ධනය වෙමින් පවතින සන්නද්ධ කල්ලිවල බලය හමුවේ සාමාන්‍ය ජනතාව දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවත්, උත්සව සමයක සිදුවූ මෙම සමූහ ඝාතනය ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි කම්පනයට හේතු වී ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. විශේෂයෙන්ම ආර්ටිබොනයිට් වැනි කලාපවල ආරක්ෂක අංශවල පාලනය ගිලිහී යාම හේතුවෙන් මෙවැනි කල්ලි ප්‍රහාර ඉහළ ගොස් ඇති අතර, වින්දිතයින්ට සහන සැලසීමට සහ සාමය ස්ථාපිත කිරීමට කඩිනම් මැදිහත් වීමක් අවශ්‍ය බව මානව හිමිකම් සංවිධාන රජයට අවධාරණය කරයි.
















