ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද, එරට උපත ලබන දරුවන්ට ස්වයංක්‍රීයව හිමිවන පුරවැසිභාවය (Birthright Citizenship) අහෝසි කිරීමේ විධායක නියෝගය පිළිබඳ නඩු විභාගය අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී අතිශය උණුසුම් මුහුණුවරක් ගත්තේය. මෙහිදී රජයේ ප්‍රධාන නීති නිලධාරී සොලිසිටර් ජෙනරාල් ජෝන් සෝවර් (John Sauer) සහ අගවිනිසුරු ජෝන් රොබට්ස් (John Roberts) අතර සෘජු වාග් සංග්‍රාමයක් ඇති වූ බව වාර්තා වේ.
සොලිසිටර් ජෙනරාල් ජෝන් සෝවර් තර්ක කර සිටියේ වර්තමානය “නව ලෝකයක්” (New World) බවත්, ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත ජනයාට ගුවන් ගමනක් මගින් ඉතා පහසුවෙන් ඇමෙරිකාවට ළඟා විය හැකි බැවින් පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් සිදුවන සංචාර (“Birth Tourism”) පාලනය කළ යුතු බවත්ය. මෙයට ක්ෂණිකව පිළිතුරු දුන් අගවිනිසුරු රොබට්ස්, “ලෝකය අලුත් විය හැකි වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එලෙසම පවතින බව” (It’s a new world, but the same Constitution) අවධාරණය කළේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම නඩු විභාගයට සහභාගී වී සිටි අතර, ඔහු සිය දෙවන ධුර කාලය ආරම්භ කළ 2025 ජනවාරි 20 වනදාම මෙම විධායක නියෝගයට අත්සන් තැබීය. නීති විරෝධී ලෙස හෝ තාවකාලික වීසා මත මෙරට රැඳී සිටින පුද්ගලයන්ට දාව උපදින දරුවන්ට පුරවැසිභාවය ලබා දීම නැවැත්වීම මෙමගින් අපේක්ෂා කෙරේ. මෙය ට්‍රම්ප් පරිපාලනය විසින් ක්‍රියාත්මක කරන දැඩි සංක්‍රමණික මර්දන වැඩපිළිවෙළේ ප්‍රධානතම පියවරක් ලෙස සැලකේ.














