ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරන ලද ඇමෙරිකානු රජයේ 49 වන සොලිසිටර් ජෙනරාල් (Solicitor General) වන ඩී. ජෝන් සෝවර්, ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අතිශය තීරණාත්මක නඩු විභාගයකට අද (01) කරුණු ඉදිරිපත් කළේය. ට්‍රම්ප් පරිපාලනය විසින් මෙරට උපත ලබන දරුවන්ට හිමිවන ස්වයංක්‍රීය පුරවැසිභාවය (Birthright Citizenship) සීමා කරමින් නිකුත් කළ විධායක නියෝගයේ ව්‍යවස්ථාපිත භාවය මෙහිදී ප්‍රශ්න කෙරේ.
2025 අප්‍රේල් 04 වනදා සොලිසිටර් ජෙනරාල් ධුරයට පත් වූ සෝවර්, මීට පෙර (2017-2023) මිසූරි ප්‍රාන්තයේ සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ ප්‍රබල නීතිවේදියෙකි. ඔහු මෙහෙයවන මෙම නඩුව ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දශක ගණනාවක පැවති අවබෝධය වෙනස් කළ හැකි එකක් බව විචාරකයෝ පවසති. මෙම නියෝගයට පක්ෂව තීන්දුවක් ලැබුණහොත්, ඇමෙරිකානු පුරවැසියන්ට තම අලුත උපන් දරුවන්ගේ පුරවැසිභාවය තහවුරු කිරීමේදී නව නීතිමය බාධාවලට මුහුණ දීමට සිදුවනු ඇත.














