යුද මුල් අවධියෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් එල්ල කළ විශාලතම බැලැස්ටික් මිසයිල ප්‍රහාරය ඊයේ (01) රාත්‍රියේ වාර්තා විය. යුදෙව්වන්ගේ ප්‍රධාන උත්සවයක් වන ‘පාස්ඕවර්’ (Passover) සැමරුම් ආරම්භවත්ම මධ්‍යම ඊශ්‍රායලය දෙසට මෙම මිසයිල ප්‍රහාර එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් එරට පුරා අනතුරු ඇඟවීමේ සිරේන් නාද නිකුත් වූ බව විදේශ වාර්තා සඳහන් කරයි.
ඊශ්‍රායල හමුදා නිලධාරීන්ට අනුව බැලැස්ටික් මිසයිල 10ක් පමණ මධ්‍යම ඊශ්‍රායලයට එල්ල වී ඇති අතර, ඉන් බොහොමයක් ‘ක්ලස්ටර්’ (Cluster munitions) වර්ගයේ ඒවා බව ඊශ්‍රායල හමුදා ගුවන් විදුලිය පවසයි. පසුගිය සති දෙකක කාලය තුළ දිනකට මිසයිල 10-15ක් පමණක් එල්ල වුවද, ඊයේ දිනයේදී මිසයිල ප්‍රහාර මාලා (Salvos) හයක්ම වාර්තා වී තිබේ. මෙම ප්‍රහාර මාලාවත් සමග ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින දේශපාලන වාග් සංග්‍රාමය ද දැඩි වී ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සටන් විරාමයක් ඉල්ලා ඇති බවට කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍යාංශය “අසත්‍ය සහ පදනම් විරහිත” බව පවසමින් සහමුලින්ම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන් අනතුරුව සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් අවධාරණය කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන තෙක් ඉරානය “ශිලා යුගයට” (Stone Ages) ඇද දමන මට්ටමේ ප්‍රහාර එල්ල කරන බවයි. ඉරානය දිගින් දිගටම පවසන්නේ ඇමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොකරන බව වන අතර, ඊයේ දිනයේදී ඊශ්‍රායලයට මෙන්ම ඇමෙරිකානු හිතවාදී ගල්ෆ් කලාපීය රටවලට ද මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.














