ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන රුසියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ (Andrey Rudenko) මහතා ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදය අවසර දෙන මට්ටමට පමණක් සීමා නොවී ශක්තිමත් නීතිමය සහ ආර්ථික පදනමක් මත දෙරටේ බලශක්ති ගනුදෙනු ගොඩනඟා ගැනීමට ශ්‍රී ලංකාව සහ රුසියාව කටයුතු කළ යුතු බවයි. පpathfinder පදනම මඟින් මෙරට මාධ්‍යවේදීන් සහ පර්යේෂකයන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
රුසියානු වැසියන්ට ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවත්, සංචාරක ව්‍යාපාරයට පසු වෙළෙඳ, තාක්ෂණික සහ සේවා ආයෝජන සඳහා රුසියානු ව්‍යාපාරිකයන් මෙරටට යොමු වීමට ඉහළ ඉඩක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. මේ සඳහා දෙරටේ සන්නිවේදනය ශක්තිමත් කරමින් විදේශීය බලපෑම්වලින් තොරව කටයුතු කිරීම වැදගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රුසියාවෙන් බොරතෙල් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රුසියානු බොරතෙල් සඳහා ලෝකයේ වෙනත් රටවලින්ද විශාල ඉල්ලුමක් පවතින නමුත් ශ්‍රී ලංකාවේ ඉල්ලීම මේ වන විට සලකා බලමින් පවතින බවයි. දෙරට අතර දීර්ඝකාලීන ගිවිසුමක් ඇති කර ගත හැකිනම් වත්මන් තත්ත්වය වඩාත් යහපත් අතට හැරෙනු ඇති බවත්, මෑතකදී රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් (Roman Marshavin) මහතා මෙරට කළ සංචාරයේ පසු විපරම් කටයුතු හරහා ඉදිරියේදී සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.














