ජාතික සෞඛ්‍ය පද්ධතියක රෝගියෙකු ලබාගන්නා ඖෂධයක ගුණාත්මකභාවය, සඵලතාවය සහ ආරක්ෂිතභාවය තීරණය වන්නේ ඉතා විනිවිදභාවයකින් යුත් නියාමන ක්‍රියාවලියක් මතයි. එහෙත් ශ්‍රී ලංකාවේ ඖෂධවල ගුණාත්මකභාවයට වඩා අඩු මිල කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නිසා මුළු මහත් සෞඛ්‍ය පද්ධතියම බරපතළ අනතුරකට ලක්ව ඇති බවට වෛද්‍යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් දිගු කලක සිට අනතුරු අඟවා තිබුණා. පසුගිය මාර්තු 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ඓතිහාසික තීන්දුව මඟින් මෙම අනතුරු ඇඟවීම් සනාථ කර ඇති අතර, හදිසි මිලදී ගැනීම් යන ලේබලය යටතේ සිදුකර ඇති මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතා රැසක් රට හමුවේ නිරාවරණය කර තිබෙනවා.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ අධිකරණය, ලියාපදිංචි නොකළ ඉන්දියානු සමාගමකින් (Savorite Pharmaceuticals) ඖෂධ වර්ග 38ක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව තීන්දු කළා. අදාළ ඖෂධවල බරපතළ හිඟයක් පවතින බව පවසමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණද, පසුව හෙළි වූයේ එවැනි කිසිදු හිඟයක් රට තුළ පවතී නැති බවයි. එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ පවතින ‘ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ’ විශේෂ ප්‍රතිපාදනය අවභාවිත කරමින්, කිසිදු පරීක්ෂාවකින් තොරව මෙම බාල ඖෂධ මෙරටට ගෙන්වීමට බලධාරීන් අවසර දී තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ අදාළ සමාගමට කිසිදු ගෙවීමක් සිදු නොකරන ලෙසයි. මීට අමතරව වගඋත්තරකරුවන්ට පුද්ගලික මට්ටමෙන් රජයට වන්දි ගෙවන ලෙස නියෝග කෙරුණා. ඒ අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක්ද, හිටපු සෞඛ්‍ය ලේකම්, හිටපු ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන අයට රුපියල් මිලියන 50 බැගින්ද පුද්ගලික ධනයෙන් රජයට වන්දි ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.
අඩු මිලට ඖෂධ සෙවීමේ ජනප්‍රියවාදී දේශපාලන තීන්දු වෙනුවට, විද්‍යාත්මක සහ විනිවිදභාවයකින් යුතු ප්‍රසම්පාදන පද්ධතියක් මෙරටට අත්‍යවශ්‍ය බව මෙමඟින් අවධාරණය කෙරෙනවා. ඖෂධ නියාමන අධිකාරිය දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම මෙහි ලා ගත යුතු පළමු පියවර ලෙස පෙන්වා දිය හැකියි.














