විදේශයකදී සිදුකළ සැත්කමකින් පසුව හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටිනවා. ඒ මහතාට රෝහලෙන් පිටව යාමට වෛද්‍ය අවසරය ලැබී තිබුණද තවත් දින කිහිපයක් රෝහලේම නතර වී වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේකීව ගත කිරීමට තීරණය කර තිබෙනවා.
සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ලංකාවට පැමිණෙන ලෙසත් තවත් කලක් සිංගප්පූරුවේම රැඳී සිටිමින් විවේක ගන්නා ලෙසත් ඒ මහතාගේ සමීපතමයන් යෝජනා කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය වී ඇත්තේ හැකි ඉක්මනින් ලංකාවට පැමිණිය යුතු බවයි. ජනතාවට අසීරු මෙවන් කාලයක තමන් රට තුළ සිටිය යුතු බවත් නිවසේ සිට හෝ අදාළ දේශපාලන කටයුතු මෙහෙයවීම තම අදහස බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින දහය ඇතුළත ඒ මහතා නැවත ලංකාවට පැමිණීමට නියමිතයි.
ඔහු ලංකාවෙන් පිටව යාමට පෙර ලබාදුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය මේ වන විටත් සිය දේශපාලන කටයුතු අඛණ්ඩව කරගෙන යන අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් විටින් විට සිංගප්පූරුවේ සිටින තම නායකයාව ඒ පිළිබඳව දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.














