නඩු කටයුත්තකට අදාළව තම සේවාදායකයකුට නීති විරෝධී උපදෙස් දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අදාළ නීතිඥවරයාට අද (02) නියෝග කළේය.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්තව සේවය කරන මෙම නීතිඥවරයා, මීට පෙර ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබා දී තිබූ නියෝගය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඉවත දමමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම තීන්දුව ලබා දුන්නේය. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක පාර්ශවකරුවකුට ජංගම දුරකථනය ඔස්සේ නීති විරෝධී අරමුණක් ඉටු කර ගැනීම සඳහා උපදෙස් දුන් බවට රහස් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා වෘත්තීය රාජකාරියේ නිරතව සිටියදී සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බවයි. කෙසේ වෙතත්, කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ලබන 04 වැනිදා රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස නීතිඥවරයාට නියම කළේය.













