පකිස්ථානයේ වයඹදිග පිහිටි කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa) ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ඉලක්ක කරගනිමින් ඊයේ (02) රාත්‍රියේ සිදුවූ මරාගෙන මැරෙන මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙකු සහ එක් දරුවෙකු ඇතුළු පස් දෙනෙකු මියගොස් තිබේ. බන්නු (Bannu) දිස්ත්‍රික්කයේ දොමෙල් (Domel) ප්‍රදේශයේ පිහිටි මෙම පොලිස් ස්ථානය වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් ධාවනය කරවා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය පවසයි.
ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර අවට පිහිටි නිවාස කිහිපයකට ද දැඩි හානි සිදුව ඇත. ප්‍රබල පිපිරීමත් සමඟ ප්‍රදේශය පුරා දැඩි භීතියක් පැතිර ගිය අතර පිපිරීමෙන් පසුව එම ස්ථානයෙන් වෙඩි හඬවල් ද ඇසුණු බව වාර්තා වේ. සහන සේවා කණ්ඩායම් විසින් සුන්බුන් අතර තිබී මියගිය පිරිසගේ සිරුරු සොයාගෙන ඇති අතර තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ. මෙම ප්‍රහාරයේ මූලික ඉලක්කය පොලිස් ස්ථානය බව බලධාරීන් තහවුරු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














