කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඉටුකළ ගෝලීය ආධ්‍යාත්මික නායකත්වය සහ දශක ගණනාවක ප්‍රජා සේවය අගයමින් බ්‍රිතාන්‍යයේ කැන්ටබරි ක්‍රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය (Canterbury Christ Church University) මගින් ජීවිත කාලයටම එක්වරක් පිරිනමන සුවිශේෂී සම්මානයකින් උන්වහන්සේව පිදුම් ලබා ඇත.
අප්‍රේල් 1 වැනිදා එම විශ්වවිද්‍යාලයේ පැවති විශේෂ උත්සවයකදී මෙම සම්මානය ප්‍රදානය කර ඇති අතර, අන්තර්ජාතික ආධ්‍යාත්මික නායකත්වය, අන්තර් ආගමික සහජීවනය, අධ්‍යාපනය සහ ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් උන්වහන්සේ දැක්වූ දායකත්වය මෙහිදී ඇගයීමට ලක්ව තිබේ. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අස්සජි හිමියන් සඳහන් කළේ, බෙදී ගිය ලෝකයක සමගිය ඇති කිරීම සඳහා බෞද්ධ ඉගැන්වීම් අතිශය වැදගත් වන බවත්, සැබෑ සාමය තමන් තුළින්ම ආරම්භ විය යුතු බවත්ය. උන්වහන්සේගේ මෙම බ්‍රිතාන්‍ය සංචාරය තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සංස්කෘතික හා අධ්‍යයන සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු කර ඇත.














