ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හිමිවිය යුතු ලාභාංශ කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින්, දිවයින පුරා විසිරී සිටින ඉන්ධන බෙදුම්කරුවන් අද (06) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇත. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ පවතින මිල සූත්‍රය අනුව පිරවුම්හල් වෙත හිමිවිය යුතු 3%ක ලාභාංශය සංස්ථාවේ නව පාලන අධිකාරිය විසින් අත්තනෝමතික ලෙස කප්පාදු කර ඇති බවයි.
කොළඹදී ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා අවධාරණය කළේ, ඇණවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් තොග නියමිත පරිදි පිරවුම්හල් වෙත නොලැබීම නිසා ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි. බෙදුම්කරුවන්ගෙන් මෙලෙස සූරාගන්නා මුදල්වල වාසිය පාරිභෝගිකයාට ද නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එසේම, වත්මන් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදය පිළිබඳව ද ඔහු විවේචන එල්ල කළේය. දැනට පවතින QR ක්‍රමවේදය පමණක් ප්‍රමාණවත් බවත්, අලුතින් හඳුන්වා දී ඇති ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය නිසා වෙළඳපොළ තුළ අනවශ්‍ය කලබලයක් සහ පිරවුම්හල් සේවකයන්ට දැඩි පීඩනයක් එල්ල වී ඇති බවත් ඔහු පැවසීය. මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම විරෝධතාව ක්‍රියාත්මක කරන බව බෙදුම්කරුවන්ගේ සංගමය අවධාරණය කරයි.














