දිගු නිහැඬියාවකට පසු ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසල අද (06) සිට යළිත් සිය කටයුතු ආරම්භ කර තිබේ. මාස නවයක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම විශේෂ පුහුණු පාඨමාලාව සඳහා තෝරාගත් අභ්‍යාසලාභීන් වෙනුවෙන් නේවාසික පහසුකම් සහ ආහාර දීමනාවක් ද ලබා දීමට තරුණ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන මෙම පාඨමාලාව නවීන විෂය නිර්දේශයක් යටතේ ක්‍රියාත්මක වන අතර, නාට්‍ය ක්ෂේත්‍රයේ සියලුම අනුශාංගික අංග මෙන්ම ඉංග්‍රීසි භාෂා පුහුණුව ද මීට ඇතුළත් වේ. මෙහිදී අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළේ, මෙය හුදෙක් සාම්ප්‍රදායික නාට්‍ය පාසලක් නොව නවීන “නාට්‍ය සාමූහිකයක්” ලෙස ගොඩනගන බවයි.
පසුගිය වසරේ දිස්ත්‍රික්ක 25 පුරා පවත්වන ලද නාට්‍ය වැඩමුළුවලින් තෝරාගත් දක්ෂ තරුණ තරුණියන් පිරිසක් මෙම නාට්‍ය පාසල සඳහා ඇතුළත් කරගෙන තිබේ. තනිව ගොඩනැගෙන නිර්මාණකරුවන් වෙනුවට, සාමූහිකව සමාජය වෙනස් කළ හැකි නිර්මාණාත්මක පරපුරක් බිහි කිරීම මෙහි මූලික අපේක්ෂාව බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














