“දිට්වා” සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ලබන බ්‍රහස්පතින්දා (09) සිට යාපනය සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි. කුණාටුව හේතුවෙන් මාර්ගයේ ස්ථාන 14ක් බරපතල ලෙස හානියට පත්ව තිබූ අතර, ඉන්දීය රජයේ ඩොලර් මිලියන 05ක ප්‍රදානයක් යටතේ පසුගිය ජනවාරි 19 වැනිදා සිට මෙම ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මාර්ගය තාවකාලිකව වසා තබන ලදී.
මෙම ව්‍යාපෘතිය යටතේ හානියට පත් ස්ථාන 14 පිළිසකර කිරීමට අමතරව, මහව – ඕමන්තේ මාර්ග නවීකරණයට අදාළ පාලම් 05ක් ස්ථාපනය කිරීම සහ ‘කාසි කොටේ’ අලි උමගෙහි ඉදිකිරීම් ද සාර්ථකව නිම කර තිබේ. ඒ අනුව, මීට පෙර පැවති වේග සීමාවන් ඉවත් කරමින් වඩාත් කාර්යක්ෂම දුම්රිය සේවාවක් මගීන්ට ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම් වේ.
අලුතින් සකස් කළ කාලසටහනට අනුව, යාපනය නගරාන්තර (Intercity) දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අප්‍රේල් 09 වැනිදා සිටත්, ප්‍රකට ‘යාල් දේවී’ දුම්රිය අප්‍රේල් 10 වැනිදා සිටත් දිනපතා ධාවනය කිරීමට සැලසුම් කර ඇත. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයට පෙර උතුරු මාර්ගය මෙලෙස විවෘත වීම මගී ජනතාවට මහත් පහසුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














