ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද (06) පෙරවරුවේ දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු හා මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙරට ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා බැංකු පද්ධතිය සතු වගකීම සහ ලබාදිය හැකි සක්‍රීය දායකත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බලන ලදී.
මෙම නව ගෙවීම් ක්‍රමවේදය ජනතාවට වඩාත් ආකර්ෂණීය සහ පහසු අත්දැකීමක් බවට පත් කිරීමට ගත යුතු පියවර මෙහිදී සාකච්ඡා වූ අතර, එහිදී මතු විය හැකි තාක්ෂණික හා ප්‍රායෝගික බාධාවන් කඩිනමින් ඉවත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. බැංකු පද්ධතියේ සහාය ඇතිව මෙම වැඩපිළිවෙළ සමස්ත සමාජය පුරා වේගයෙන් ව්‍යාප්ත කිරීම රජයේ මූලික අපේක්ෂාවයි.
මෙහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දුන්නේ, සාම්ප්‍රදායික ATM යන්ත්‍ර හරහා මුදල් ගනුදෙනු කිරීමේදී බැංකු පද්ධතියට දැරීමට සිදුවන අධික පිරිවැය මෙම ඩිජිටල් පරිවර්තනය හරහා සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බවයි. එමෙන්ම මෙම නව ක්‍රමවේදය මහජනතාවට වඩාත් කාර්යක්ෂම, විශ්වාසනීය සහ ආරක්ෂිත ගනුදෙනු රටාවක් නිර්මාණය කර දෙනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














