සුප්‍රකට ඇමෙරිකානු රැප් ගායක කාන්යේ වෙස්ට් (Ye) ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත “Wireless Festival” සංගීත ප්‍රසංගයේ ප්‍රධාන ශිල්පියා ලෙස නම් කිරීමත් සමඟ ඔහුට බ්‍රිතාන්‍යයට ඇතුළු වීම තහනම් කරන ලෙස එරට රජයට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතී. මීට පෙර ඔහු විසින් සිදුකරන ලද යුදෙව් විරෝධී ප්‍රකාශ සහ නාසිවාදය අගය කරමින් කරන ලද ප්‍රකාශ හේතුවෙන් මෙම විරෝධය මතු වී තිබේ.
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් සහ ලන්ඩන් නගරාධිපතිවරයා ද මෙම තීරණය විවේචනය කර ඇති අතර, උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක ආයතන කිහිපයක් ද මේ වන විට ඉවත් වී ඇත. විපක්ෂයේ කොන්සර්වේටිව් පක්ෂය ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමුද් වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ ඔහුට මෙරටට පැමිණීමට අවසර නොදෙන ලෙසයි.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඔහුට රටට ඇතුළු වීමට අවසර ලබා දීම පිළිබඳව මේ වන විට සමාලෝචනය කරමින් පවතින බවයි. මීට පෙර ද අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම හේතුවෙන් විදේශීය ක්‍රියාකාරිකයන්ගේ සංචාරක බලපත්‍ර අවලංගු කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන තිබුණි.














