ජනතාව මත පැටවී ඇති ආර්ථික බර ලිහිල් කිරීම අරමුණු කරගනිමින් ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සහන සහ මූල්‍ය ආධාර රැසක් ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය. ඒ අනුව සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනයක් සහ සාමාන්‍ය පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් මාස තුනක කාලයක් සඳහා ලබා දීමට නියමිතය. මෙම වැඩසටහන වෙනුවෙන් රජය රුපියල් බිලියන 60ක මුදලක් වෙන් කර ඇති අතර, සුපර් ඩීසල් සහ සුපර් පෙට්‍රල් සඳහා මෙම සහනය අදාළ නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ධීවර ක්ෂේත්‍රය සඳහා ද විශේෂ සහන රැසක් මෙහිදී ප්‍රකාශයට පත් කළ අතර, ධීවරයන්ට ඉන්ධන ලීටරයකට රුපියල් 50ක අතිරේක සහනාධාරයක් සහ ධීවර යාත්‍රා සඳහා රුපියල් 150,000ක එක් වරක් පමණක් ලබා දෙන දීමනාවක් ද හිමි වනු ඇත. මීට අමතරව ‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබන අඩු ආදායම්ලාභී පවුල් සඳහා අප්‍රේල් මාසයේ ගෙවීම් ඉහළ නැංවීමට ද තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් 17,500ක ප්‍රතිලාභ ලැබූවන්ට රුපියල් 25,000ක් ද, රුපියල් 10,000ක ප්‍රතිලාභ ලැබූවන්ට රුපියල් 15,000ක් ද වශයෙන් සිය දීමනා හිමි වීමට නියමිතය.














