2025 සහ 2026 අයවැය මඟින් යෝජිත බදු ප්‍රතිපත්ති වෙනස්කම්වලට අනුකූලව, 2002 අංක 14 දරන එකතු කළ අගය මත බද්ද (VAT) පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, අදාළ සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය.
මෙම සංශෝධනවලට ඇතුළත් ප්‍රධානතම කරුණක් වන්නේ විද්‍යුත් වේදිකා (Electronic Platforms) හරහා සපයනු ලබන සේවාවන් මත, විශේෂයෙන්ම මෙරට පදිංචි නොවන සේවා සපයන්නන් (Non-resident service providers) විසින් ලබාදෙන සේවාවන් මත VAT බද්ද ක්‍රියාත්මක කිරීමේ දිනය 2026 ජූලි 1 වැනිදා දක්වා කල් දැමීමයි. නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද මෙම පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද දැනටමත් ලැබී ඇති බව රජය පවසයි. මෙම පියවර හරහා මෙරට බදු පරිපාලනය වඩාත් විධිමත් කිරීමටත්, ජාත්‍යන්තර ඩිජිටල් සේවා සපයන්නන් මෙරට බදු පද්ධතියට සම්බන්ධ කර ගැනීමටත් අපේක්ෂා කෙරේ.











