එළඹෙන උත්සව සමයේදී දිවයින පුරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව ලබාදීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙන්දන්ගේ සංගමය මහජනතාවට සහතික වෙයි. ලෝක වෙළඳපොළේ මිල ගණන් පහත වැටීම හේතුවෙන් පරිප්පු, සහල්, සීනි, තිරිඟු පිටි සහ ළූණු වැනි ප්‍රධාන ද්‍රව්‍යවල මිල ගණන් ද මේ වන විට අඩුවී ඇති බව එම සංගමයේ සභාපති ගනේෂ් විනයාගසුන්දරම් මහතා ප්‍රකාශ කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, එළඹෙන වෙසක් උත්සව සමය දක්වා මෙරට ඉල්ලුමට සරිලන ආහාර තොග දැනටමත් පවතින බැවින් සැපයුම පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොමැති බවයි. විශේෂයෙන්ම ඉන්දියාවේ තූත්තුකුඩිය සිට මෙට්‍රික් ටොන් 500ක සම්බා සහල් තොගයක් අද (07) දිනය තුළ මෙරටට ලැබීමට නියමිත අතර, එමඟින් මෙරට සහල් සංචිතය තවදුරටත් ශක්තිමත් වනු ඇත. උත්සව සමයේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට මෙම ද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය පසුබිම රජය සහ පෞද්ගලික අංශය එක්ව සලසා දී තිබේ.














